Wednesday, August 24, 2011

ලාංකේය වොලිබෝලයේ චීවර ලකුණ 
     කැන්දලන්ද වොලිබෝලය පිළිබද විමසා බැලීමක් 











ඉසිඹුලන්නට ලද මොහොතක් බලා කැන්දපොල විද්‍යාලයේ අවුරුදු 12 න් පහළ පැටික්කියන් ටිකත් ඔවුන් වෙනුවෙන් අමුතුම ආකාරයේ ධර්ම දානයක නියැලෙන පුස්සැල්ලේ පඤ්ඤාතිලක හාමුදුරුවන් වහන්සෙයි එකතු කර ගන්න මම භාග්‍යවන්ත වුණෙමි. ස්වාමින්වහන්සේ උස් අසුනක වැඩ සිටියි.මමත් කැන්දපොළ දැරියනුත් උන් වහන්සේ ඉදිරිපිට ඇති බුමුතුරුණු මත ට බරවිමු. 

 
මම ස්වාමින්වහන්සේගෙන් අවසර ගෙන පුංචි දැරියන් හරහා ඔවුන්ගේ පවුල් පරිසරයට ඇතුල් වන්නට උත්සාහ දැරිමි.ඔවුන් සියල්ලෝම පවුල ගණනය කරන්නේ ආච්චිලා සීයලා ද සමගය.ඔවුන් ‍ගේ පවුල් වල බොහෝ දෙනෙකුට මාසික වේතනයක් ලැබෙන රැකියා නැත.දියණියන් දෙදෙනෙකු ගේ මව්වරුන් පමණක් රැකියා කරති.ඒ කොළඹය.කොළඹ ගාමන්ට් වලය.ඒවා කොහ්ද  කොතැනද කියන්නට ඔවුන්ට කොළඹ ගැන දැණුම මදි ය.
අනෙක් බොහෝ අය ගේ රැකියාවන් දෛනික කුලී වැඩය.අයෙක් රබර් කිරි බවුසරයක සහයකය.තවත් අයෙක් පියෙක් ගැන නොදන්නේය.අනුන්ගේ වතුවල රබර් කිරි කපන,තේ දළු නෙලන ඔවුන්ගේ දෙමව්පියෝ සිය දියණිවරුන්ට රටක් දිනන්නට ඇවැසි පෝෂනය ලබා දෙනු තබා තුන් වේල කන්නට දෙන්නට තරම් වත් පොහොසත් නොවන්නෝ ය.


“දාන මාන වලට ගියහම පිරිකර වලට ලැබෙන කිරිටික හෙම මං බොහෝ වෙලාවට කරන්නේ මේ දරුවන්ට ගෙනත් දෙන එක”  පඤ්ඤාතිලක හාමුදුරුවෝ පෝෂනයේ අඩුපාඩු කම මකා ගන්නා හැටි විස්තර කරති.


එපමණක් නොව දානයට ලැබෙන බොහෝ දේ උන් වහන්සේ මේ දරුවන් වෙනුවෙන් කැප කරන බව නොරහසකි.නෑ හිතවත්කම් වුව එසේමය.


“මම ඉස්සර ඇන්දානෙ වැඩ කළා ඒ කාලෙ. මම එහෙත් වොලිබෝල් ටීම් එකක් හැදුවා.ඒකෙ සෙල්ලම් කරපු දිලිප් දිවාකර සිල්වා අද මිරිහාන පොලීසියේ අයිපී කෙනෙක්.මම එතුමට කියල තමයි මේ සපත්තු අරං දුන්නෙ.” පඤ්ඤාතිලක හාමුදුරුවෝ
පුංචි දැරියන්ගේ දෙපයේ නිරුවත මැකූ හැටි විස්තර කරති.
පාසලක මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 91 කි.එම පාසල වයස් ඛාණ්ඩ දෙකකම ජාතික සූරයෝ වෙති.විශ්වාස කළ නොහැකි වුව ද කැන්දපොළ දැරියෝ පඤ්ඤාතිලක හාමුදුරුවන්ගේ මග පෙන්වීම ඔස්සේ විශ්වාස නොකළ හැකි දේ කර පෙන්වා තිබේ.


“පළවෙනි එක පුහුණුව.එක අරමුණකින් යහපත් සිහියෙන් කටයුතු කිරීමේ හැකියාව මේ දරුවො ප්‍රගුණ කරල තියෙනවා.ඒ නිසා තරගයෙ දී අනවශ්‍යය විදිහට කළබල වෙන්නෙ නැහැ.අවශ්‍යය දේ හරියට හිතල කරන්න මේ දැරියන්ට පුළුවන්.”
උන් වහන්සේ ජයග්‍රහණයේ පදනමට සාක්ෂි ඉදිරිපත් කරයි.තරගය ජය ගැනීම වගේම තවත් බොහෝ දේ ගැන ද යහපත් සිහියෙන් කටයුතු කිරීමට මේ දැරියන්ට සිදුවන බව ද පඤ්ඤාතිලක හාමුදුරුවෝ පැහැදිළි කරති.


“14 න් පහළ තරගෙදි හොදට සෙල්ලම් කරනවා වගේම කිසිම තුවාලයක් වෙන්න තියෙන අවධානමක් ගන්නත් බෑ.මුළු ස්කෝලෙම ඉන්නෙ ඒ වයසේ ළමයි 6 යි.ඒ හය දෙනාගෙන් කවුරු හරි තුවාල වුණොත් තරගෙ කරන්න වෙන්නෙ පහකින්.”
මෙය ද අදහාගත නොහැකි දෙයකි.වෙනත් පාසල් සංචිත පවත්වා කණ්ඩායම් තෝරා ගෙන පැමිණෙද්දී මුළු පාසලේම සිටින හය දෙනා පුහුණුකර තරගයට කැදවාගෙන එන පඤ්ඤාතිලක හාමුදුරුවෝ ඔවුන්ව සූරියෝ කරති.මේ හපන්කම ඩොලිබෝල් බලධාරීන් හදනාගත යුතු විශේෂත්වයක් නොවන්නේ?


“ඩිලාන් ඇමතිතුමා කියල තියෙනවා මට පුහුණුවක් දෙන්න ඕනි කියලා,සමහරු ඒත් මම හාමුදුරු කෙනෙක් කියල අකමැති කතාවකුත් තියෙනවා.”
එහෙත් උන් වහන්සේ නොවන්නට මේ දැරියන් ජාතික සූරියෝ නොවෙති.දක්ෂතා කිසිවෙක් නොදැකම ගමේ වත්තක තේ දල්ලට,රබර් කිරි බිංදුවට  ජීවිතය දිය කර හරින ගැහැණියක වන්නට තිබිණි.ඉතිං එවැනි ඉරණමක් වෙනස් කර රටක් ඉදිරියේ ගරු බුහුමන් ලබන දැරියන් පිරිසක් නිර්මාණය කිරීම  බුදු දහමට අනුව පිං කමක්
නොවේද?


“අපේ සිතුවිලි වලයි ඔය ඔක්කොම තියෙන්නෙ.අපේ බුදු රජාණන්වහනසේ සාස්ථෘවරයෙක්.උන් වහන්සෙ ජීවිතය ජය ගන්න මග පෙන්නුවා.පැවිද්දන්ට පැවිදි ජීවිතය තුළ,ගිහියන්ට ගිහි ජීවිතය තුළ.බුද්ධ පුත්‍රයන් වහන්සේලාටත් ඒ අභියෝගය ඒ විදිහටම පැවරිලා තියෙනවා.මේ දැරියන්ට මම මග පෙන්නන්නෙ ඔවුන්ගේ ජීවිත ජය ගන්නයි.”


එහෙත් මේ යාන්ත්‍රණය තුළ ඒ සදහා ඊට වඩා වැඩි යමක් මේ කාර්යයේ සාර්ථකත්වය වෙනුවෙන් සිදුවිය යුතු බව උන් වහන්සේගේ විශ්වාසය යි.ඒ කාර්යය කිරීම සදහා නිල වගකීම් බැදීම් ඇති ආයතන පුද්ගල චරිත මේ දේශපාලන ව්‍යහුය තුළ ඇති බව උන් වහන්සේ පැහැදිළි කරයි.


“දැන් මේ පාර සූරතා දෙකයි.12 න් පහළ සූරතාව අරං මේ අරං යන්නෙ තුන්වැනි වතාවට.ඒත් පළාතට ගෞරවයක් ගෙනාපු මේ ස්කෝලෙට මොනවද ඒ වෙනුවෙන් ලැබිල තියෙන්නෙ.”


ඒ වේදනාව අතරේ උන් වහන්සේ ඩීඑස්අයි ආයතනයට සිය තුතිය පුද කරයි.ඒ මේ තරගාවලිය වෙනුවෙන් පමණක්ම නොව එයට ලබා දෙන ප්‍රචාරය ගැන ද මෙනෙහි කරමින් ය.
“ඒ නිසා රටේ ගොඩ දෙනෙක් අපේ දරුවො ගැන දැන ගත්තා.ඒ සමහර අය අපිට කතා කරල පුළුවන් විදිහට උදව්ත් කරා”


ඒත්අධ්‍යාපන බලධාරීන් සමග අරගල කරමින් අටේ පංතිය පවත්වා ගෙන නොගියානම් මෙ වසරේ අවුරුදු 14 න් පහළ සූරතාවයක් කැන්දාපොළට නොයන බව සහතිකය.එපමණක් නොව මේ ජාතික සූරියන් බොහෝ විට පාසල හැර ගිය දරුවන් ගොන්නට වැටෙන්නට තිබුණු ඉඩකඩ ද විශාලය.


“කවුද මේ ළමයි නගරෙ ඉස්කෝලවලට ඇරල වියදම් කරන්නෙ?බස් කුලිය,එහෙම නැත්නම් බෝඩිං කුලිය,වෙන්නෙ එකම දෙයයි...මේ පාසලේ පංති අඩු කරොත් මේ ගමේ ඉගෙන ගන්න හුගක් ළමයි ගමේ ස්කොලෙ අන්තිමට තියෙන පංතියෙන් ඉගෙනීම අත අරියි.”


ජාතික සූරයන් ගේ පාසලට අලුතෙන් ලැබුණ භෞතික සම්පතක් නැත.තවමත් ගුරු මඩුල්ල 8 කි.මේවා වෙනස් කිරීමේ වගකීම ඇත්තෝ චකුලේඛවල සිරව කැන්දෙපොළ ඇතැම් පංති වසා දැමීමට පිඹුරුපත් සකස් කරමින් සිටිති.


“පහසුකම් වැඩි කරන්න.මේ ගමේ දරුවො ඔක්කොම වගේ මේ පාසලට එයි.සමහරු බොහෝම අමාරුවෙන් ළමයා රක්වාන ට හරි අරින්නෙ මේ විද්‍යාලයේ පහසුකම් නැති හින්ද.එහෙම මුකුත්ම කර ගන්න බැරි ළමයි තමයි මේ ඉන්නෙ.සමහර විට මේ පාසල දියුණු වුණොත් මීටත් වඩා හොද කණ්ඩායම් හැදෙයි.”


‍හාමුදුරුවන්ගේ වචන අතරේ මට සිහිවන්නේ තරගය රස විදින්නට එක්ව සිටි රත්නපුර දිස්ත්‍රික්කයේ ආණ්ඩුවේ දේශපාලන නායිකාව පවිත්‍රා වන්නිආරච්චි ගේ උනන්දුවයි.ඇය වරෙක ඉහළ මාලයේ සිටින කැන්දපොළ දැරියන්ගේ දෙමව්පියන් වෙත දිව එයි.ඇය සිටින මාල‍යේ සිට ඔවුන්ට උපදෙස් දෙයි.දෙමව්පියෝ ගමේ දි ආරක්ෂක රැකවලුන්ගෙන් වචනයක් දොඩන්නටවත් ඉඩක්  නැති මේ දේශපාලන නායිකාව තමන්ගේම සහෝදරියක කර තිබෙන මේ නිදහස් හැසිරීමෙන් උදම්ව ඇයට ද ඔල්වරසන් දෙති.


ඒ අතර අපි පවිත්‍රාගේ දෑස්වල දිළිසෙන කදුළු දකිමු.ඒ කදුළු උද්යෝගයෙන් මෙන්ම ප්‍රාදේශීයකරණ බැදීමෙන් පවිත්‍ර ය.ඇය ත්‍යාග ප්‍රදානයේ දී කැන්දපොළ සෑම දැරියකගේම නලලත හාදුවක් තබන්නේ ය.ඒවා ආදයෙන් පිරුණු උණුසුම් ම උණුසුම් ම හාදු ය.ඒත් මේ හාද්දේ උණුසුමට ආදරයට යටත් නොවන දේශපාලන යථාර්ථය ඇය අතින් වෙනස් නොවන්නේ නම් ...ඊ ළග වසරේ කැන්දපොළ අවුරුදු 14 න් පහල කණ්ඩායමක් ඩීඑස්අයි තරගාවලියේ නොසිටින්නට ද පුළුවන.


පාසලක් තිබෙන්නේ වොලිබෝල් ගසන්නට නොවේය.පළමු කාර්ය ය අධ්‍යාපනය ය.ඊට අවශ්‍යය ගුරුවරු,භෞතික සම්පත් - මේවා ස්ථාපිත කිරීම වෙනුවෙන් පවිත්‍රා අමාත්‍යවරියට කළ හැකි මැදිහත් වීම විශාලය.එය දරියන්ගේ නළලත රැදුණු උණුසුම ඉක්මවා මුළු ගමක හදවත්වලට ඇගේ උණුසුම දැනෙන හාදුවක් වන්නේය.ඉතිං ඒ හාදුවට ඇයව ශක්තිමත් කරන්නට සිය පෙම්බරය‍ාගේ දායකත්වයද උකහා ගන්නට ඇයට ඇති හැකියාවද තීරණාත්මක ය.මන් ද ඔහු වර්ථමාන වොලිබෝල් පරිපාලනයට උප සභාපතිවරයෙකු ලෙස  සම්බන්ධය.රත්නපුර දිස්ත්‍රික් වොලිබෝල් පරිපාලනයට නායකත්වය දෙන්නේ ද ඔහු ය.එසේම සබරගමු පළාත් සභාවට රත්නපුරෙන් සම්බන්ධ මංත්‍රීවරයෙකු ද වන්නේ ය.


ඉතිං, අපි පවිත්‍රාගේ පිටියේ මැදිහත්වීමේ පවිත්‍රත්වය දෙස විමසිලිමත් දෑසින් බලා සිටින්නෙමු.


අවසාන වශයෙන් මේ සටහන අගට කැන්දපොළ අවුරුදු 12 න් පහළ නායකාව සදුනි මධුශිකා සූරියගේ සහ අප අතර වූ සාකච්ඡාවේ වචන කිහිපයක් අමුණා දමන්නට තීරණය කළෙමු.
සුපිරික්‍රීඩා  -ඔයාලගෙ ස්කෝලෙ ඉන්නෙ ළමයි 91 යි.මේ වගෙ තරගෙකට ආවම ඊට වඩා ගොඩක් ලොකු ස්කෝල විශාල සෙනග දකින්න ලැබෙනවා.එහෙම හිතුනම ඔයාලට බය හිතෙන් නැද්ද?


සදුනි        -නෑ.අපි කළාප තරගවලට ගියත් හම්බවෙන්නෙ අපිට වඩා ලොකු ස්කෝල,අපිට පුළුවන් කියන විශ්වාසෙන් කල්පනාවෙන්කළොත් අපිට දිනන්න පුළුවන් කියල හාමුදුරුවො කියල දීල තියෙන්නෙ.ඒ නිසා අපි කාටවත් බය නෑ.

No comments:

Post a Comment